පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා පුරාවෘත්තය
පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා
වික්ෂිප්ත වූ පර්සියස් මෙඩූසා ගැන තොරතුරක් දැන ගැනීමට ග්‍රීසියට පැමිණ ඩෙල්ෆයිහි ඇපොලෝගේ ශුද්ධ වූ දෙවොලට පැමිණියේය. ඇපොලෝගේ පූජකවරියන් ඔහුට පැවසූ අන්දමට ඔහු එපිරස් ප්‍රදේශයේ ඩෙඩෝනා නුවරට පැමිණියේය. ඩෙඩෝනාහි සීයුස්ගේ ආශිර්වාදය ලත් ඉපැරණි කොඳුරන ඕක් ගස වෙත පැමිනි ඔහුට දැනගැනීමට ලැබුනේ මහාදෙවි සීයුස් ඇතුලු දෙවියන්ගේ රැකවරණය ඇති බවයි. කෙසේ හෝ එහිදී ඔහුට දෙවියන්ගේ දූතයා වන හර්මීස් දෙවියා හමුවිය. මෙඩූසා වෙත යන මාර්ගය පර්සියස්ට දැන්වූ හර්මීස් පළමුව ඔහුට ස්ටයිජියන් අප්සරාවන් හමු වී අවශ්‍ය කරන උපකරණ ලබාගන්නා ලෙස උපදෙස් දුනි. නමුත් ස්ටයිජියන් අප්සරාවන් හමුවන මාර්ගය දැන සිටියේ ග්‍රයියායි නම් මැහැලියෝ තිදෙනායි. හර්මීස් පර්සියස්ව ඔවුන් කරා ගෙන යන ලදී. මෙම ග්‍රායියායි මැහැල්ලන් තිදෙනා අන්ධ වන අතර ඔවුන් තිදෙනාටම පැවතියේ එක් ඇසකි. එම ඇසට පොරකමින් සිටි මැහැල්ලන් තිදෙනා වෙත පැමිණෙන පර්සියස් එම ඇස ප්‍රාණ ඇපයට ගෙන යායුතු මාර්ගය දැන ගත්තේය. එලෙස ස්ටයිජියන් අප්සරාවන් වෙත පැමිණි වීරයා ඔවුන් බැහැදැක හර්මීස්ගේද ආධාරය ඇතිව පියාඹන පාවහන් යුවල, මායාමය පසුම්බියක් හා අදෘශ්‍යමාන භාවය ලබාදෙන හිස්වැස්ම ඔවුන්ගෙන් ලබාගති. මෙඩූසාගේ ගෙල කැපීමට පහසුවීමට සුදුසු හාර්පේ නම් අසිපත හර්මීස් විසින් ලබාදෙන ලදී.
මෙඩූසා යනුවෙන් හැඳින්වෙන්නේ ඉපැරණි අමරණීය ගොර්ගොන් වරියකි. මොවුන්ගේ හිසේ කෙස් වෙනුවට තිබූයේ ජීවමාන සර්පයන් බව කියැවේ. ඇය දෙස බලන ඕනෑම කෙනෙකු ක්ෂණිකව පාෂාණීභූත වන බව කියැවේ. ඇය පිළිබඳව පවතින පුරාවෘත්තය පසු ලිපියකින් ගෙන ඒමට අදහස් කරමි. කෙසේ වුවත් නුවණට හා කර්මාන්තයට අධිපති යුධ සෙන්පති ඇතීනා දෙවඟනද පර්සියස්ට මේ ගමන අතර වාරයේදී හමුවිය. ගොර්ගොන්වරියන් අතරින් මනුෂ්‍යයකුව සිටි එකම තැනැත්තිය බැවින් මරාදැමිය හැක්කේ ඇයව පමණක් බවත් එනිසා ඇයව වෙන්කර හඳුනා ගැනීම අවශ්‍ය බව පෙන්වා දුන් දෙවඟන ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස්ද ගල් නොවී ඇය දෙස බැලිය හැකිවන සේ කැඩපතක් අඩංගු පළිහක්ද පර්සියස්ට ලබා දුනි.
පියාඹන පාවහන් ආධාරයෙන් උතුරේ යෝධයන් වූ හයිපර්බෝරියන් වරුන්ගේ දේශය පැමිණි පර්සියස් ගොර්ගොන් වරුන්ගේ වාසභූමියට පිවිසියේය. තරමක සටනකින් පසු පර්සියස් ඇතීනාගේ උපදෙස් අනුව හාර්පේ අසිපතෙන් මෙඩූසාගේ හිස කඳින් වෙන්කලේය. ඇගෙන් ගැලූ ලෙයින් කළු පැහැති පෙගසස් නම් නුබ තුරඟා බිහිවූ බවද කියැවේ. ස්ටයිජියන් අප්සරාවන්ගෙන් ලැබුණු පසුම්බියට මෙඩූසා හිස දමාගෙන ඔවුන්ගෙන් ලැබුනු අදෘශ්‍යමානයේ හිස්වැස්මද පැලඳි පර්සියස් අනෙක් ගොර්ගොන්වරියන් කෙරෙන් පළා ගියේය. සමහරක් පුරාවෘත වලට අනුව පලා යාමට වීරයා පෙගසස් නුබ තුරඟා භාවිතා කල බවත් අනෙක් කතා වලට අනුව පියාඹන පාවහන් ආධාර කරගන්නා ලදී. ආපසු පැමිණෙන පර්සියස් ඉතියෝපියාවට පැමිණෙන විට ඔහුට දක්නට ලැබුණේ ඛේදවාචකයකි.
ඉතියෝපියාවේ රජ කල සෙෆියස් රජු හා කැසියෝපියා රැජින දෙවියන්ට විරුද්ධව ක්‍රියා කොට තම දියණිය වූ ඇන්ඩ්‍රොමීඩා නෙරෙයිඩ් මුහුදු අප්සරාවන්ට හා දෙවඟනන්ට වඩා රූමත් බවට වහසිබස් දෙඩීම නිසා කෝපයට පත්වූ සමුද්‍රාධිපති පොසයිඩන් රාජ්‍යය විනාශ කිරීමට සීටස් නම් මුහුදු රාක්ෂයෙකු එවීය. එකී රාක්ෂයා රට විනාස කරද්දී අනාවැකියකින් කියැවුණේ දෙවියන්ගේ කෝපය නිවීමට ඇන්ඩ්‍රොමීඩා කුමරිය රාක්ෂයාට බිලිදිය යුතු බවයි. එකී අනාවැකිය කෙරෙහි විශ්වාසය තැබූ රටවැසියන් එක්ව කුමරිය බිලිදීමට ඇයව ගල්කුලක බැඳ දැමීය. නමුත් මේ මොහොතේ පැමිනි පර්සියස් ඇන්ඩ්‍රොමීඩා දැක ඇයට ආලය කරන්න්ට ගත් නිසා ඔහු රාජකීය යුවළට පවසා සිටියේ කුමරිය තමාට විවාහකර දීමට එකඟවුවහොත් රාක්ෂයා විනාශ කරන බවයි. ඔවුන් එයට එකඟ වූ බැවින් පර්සියස් රාක්ශයා විනාශ කලේය. සමහර මතයන්ට අනුව රාක්ශයාගේ ගෙල කපා ඝාතනය කල බවද අනෙක් කතාවන්ට අනුව මෙඩූසා හිස ආධාරයෙන් රාක්ෂයා පාෂාණයක් බවට පත් කළේය. කෙසේ නමුත් ඉන්පසු සේෆියස් රජු හා කැසියෝපියා රැජින එකඟතාවය බිඳදමමින් කුමරිය විවාහකර දීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව පර්සියස් මරාදැමීමට සේනාවද කැඳවීය. කෙසේවුවත් අවසානයේ මෙඩූසා හිසෙන් ඔවුන් සියලු දෙනා ගල් බවට පත් කල පර්සියස් ඇන්ඩ්‍රොමීඩා සමඟ තමාගේ රටට ගියේය. ද්‍රෝහී වීමට දඩුවම් වශයෙන් සේපියස් රජු හා කැසියෝපියා රැජිනව තාරකා රටා බවට පත්කිරීමට මහාදෙවි සීයුස් කටයුතු කළේය.
සිය රටට යන තරුණ වීරයාට දැකිය හැකිවූයේ පොලිඩික්ටීස්ගේ පීඩාවන්ට බියෙන් සැඟවී සිටින තම පවුලේ අයවයි. මෙඩූසා හිසද රැගෙන පොලිඩෙක්ටීස් හමුවට ගිය පර්සියස් රජුට ගොර්ගොන් හිස ලබාදෙන ලදී. හිස දෙස බැලීම නිසා රජුත් පිරිවරත් පාෂාණීභූත විය. ඉන්පසුව නව රජුලෙස ඩික්ටීස්ව පත්කරන ලදී. ස්ටයිජියන් අප්සරාවන්ගෙන් ලබාගත් උපකරණ හර්මීස් හරහා ඔවුන්ටම යැවූ පර්සියස් මෙඩූසා හිස තුති ලෙස ඇතීනාට තෑගි කරන ලදී. ඇතීනාගේ පළිහේ එම හිස සවිකර ඇති බව පුරාවෘත්ත වල කියැවේ. ඉන්පසුව පර්සියස් ඇන්ඩ්‍රොමීඩා සමඟ තම් සීයා වූ ඇක්‍රිසියස් බැහැදැකීමට ආර්ගෝස් නුවරට ගියේ සමාදාන වීමටය. නමුත් තම මුනුපුරා ජීවත්වන බව සැලවූ ඇක්‍රිසියස් රජු පලාගොස් තිබුණි. එහිදී ක්‍රීඩා උත්සවයකට සහභාගී වූ පර්සියස් විසින් විසිකල කවපෙත්ත පාවීගොස් මහලු මිනිසෙකු මරාදැමීය. ඒ වෙස්වලාගෙන සිරි ඇක්‍රිසියස් රජුය. අනාවැකිය සත්‍ය වූ අතර පර්සියස් ආර්ගෝස් සිහසුන අත් හැරියේය. ඒ වෙනුවට ඔහු ඇන්ඩ්‍රොමීඩා සමඟ මයිසීනායි අර්ධද්වීපය හා ටිරින්ස් නගරය පාලනය කල අතර ඔවු දෙදෙනා පර්සෙයිඩ් රාජකීය රුධිර රේඛාවේ ප්‍රාරම්භකයන් විය. ශ්‍රේෂ්ඨ හර්කියුලීස්ගේ මවද එම පරම්පරාවේ පුරුකකි. මරණයෙන් පසුව ඇන්ඩ්‍රොමීඩා හා පර්සියස් තරු අතර රැඳවීමට දෙවියන් පියවර ගන්නා ලදී. අදත් විමසිල්ලෙන් අහස දෙස බලන ඔබට සේෆියස්, කැසියෝපියා, ඇන්ඩ්‍රොමීඩා හා පර්සියස් තාරකා රටා මෙන්ම නුබ තුරඟා පෙගසස් තාරකා රාශීන්ද දැක ගත හැක.
ස්තූතියි.
තවත් ලිපියකින් හමුවෙමු.
-ප්‍රොමිතියස්-




Comments
Post a Comment